බුදුන්ගේ පැමිණීම (ක්‍රි.පූ 500 දී පමණ)

පාලි භාෂාවෙන් ආරාක්ෂා වී ඇති සිරි ලක්දිව ඉපැරණි ම වංසකථා ඇතුළු ඓතිහාසික වාර්තාවන්ට අනුව සම්මා සම්බුද්ධත්වයෙන් අටවෙනි වසරෙහි වෙසක් පුරපසළොස්වක පුන් පොහෝ දින (ක්‍රි. පූ. 519/520) තථාගතයන් වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේලා සමග මෙම පුණ්‍යභූමියට වැඩම කළහ (දීපවංස, පරි. 02, ගාථා 52-69; මහාවංස, පරි. 01, ගාථා 72-77). ඒ එවක මෙම පෙදෙසෙහි ආධිපත්‍යයෙහි සිටි මණිඅක්ඛික නාරජුගේ ආරාධනයෙනි.

එදින උදයවරුවේ මෙහි සැපත් වූ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා සුන්දර කැලණිය නදියෙන් පැන් පහසු වී දහවල මණිඅක්ඛික නාරජුන් ප්‍රමුඛ එවක කැලණි වැසියන් පිළියෙල කළ දිවා දානය පිළිගෙන, අනතුරු ව සවස් කාලයෙහි මණිඅක්ඛික නාරජුන් සහ සමණොල කන්දට අධිපති සුමන සමන් දේවතාවුන් ප්‍රමුඛ දේව-නාග සේනාවන්ගේ සාධු නාද මධ්‍යයෙහි රැස් වූ මහා ජනතාවට සදහම් දෙසූහ.

එතැන් පටන් සුමන සමන් දෙවියන්ගේ ඇරයුමින් සමණොල කන්ද වෙත වැඩම කොට එහි පරම පාරිශුද්ධ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා, අනතුරුව, පිළිවෙලින් අනාගතයෙහි මෙම සිරිලක්දිව බෞද්ධ ශුද්ධභූමි බවට පත් වන දිවාගුහාව, දීඝවාපිය, මුතියංගණය, තිස්සමහාරාමය, ජයසිරිමහබෝධිය පිහිටි මහමෙවුනා උයන, මිරිසවැටිය, රුවන්වැලිසෑය, ථූපාරාමය, අභයගිරිය, ජෙතවනය, සේල චෛත්‍යය සහ කතරගම යනාදී ස්ථානවලට වැඩම කොට ඒ ඒ තැන සමවත් සමාධි සුවයෙන් වැඩ සිට එම ස්ථාන පරම පූජනීයත්වයට පත් කළ සේක.

එදා ඒ මහාකාරුණික තථාගතයාණන් වහන්සේ තෙවන වර සිරිලක්දිවට වැඩම කළ දින සිට කැලණිය ඓතිහාසික පුදබිම සිරිලක ඉතිහාසය පුරා සෑම රාජ්‍යොදයක දීම අතිමහත් සම්භාවනාවට පත් වෙමින් ද, බොහෝ රජදරුවන්ගේ පූජාවන්ගෙන් හා අනුග්‍රහයෙන් දියුණුවට හා සශ්‍රීකත්වයට පත් වෙමින් ද, සාර්වභෞම පණ්ඩිත මහාපැවිදි පඬිවරුන්ගේ ඥානාලෝකයෙන් හා අසමසම ශාස්ත්‍රීය සේවයෙන් ඒකාලෝක වෙමින් ද දෙස් විදෙස් රාජකීයයන් ඇතුළු ප්‍රභූන්ගේ මෙන් ම සුවහසක් බෞද්ධ බැතිමතුන් ඇතුළු නොයෙක් ජනීජනයාගේ අනේක විධ පූජා, සත්කාර, සම්මාන හා වන්දනාමානයට පත්වෙමින් ද පිවිතුරු ශුද්ධභූමියක්, මහානුභාව සම්පන්න ආශීර්වාද භූමියක්, සම්භාවනීය විද්‍යාස්ථානයක්, ලෝක පූජිත කලාගාරයක් ලෙස මෙන් ම මහෝත්තම පූජාභූමියක් ලෙස විරාජමාන වෙයි.

සිරි ලක්දිව ලොවුතුරා බුදුපියාණන් වහන්සේගේ නික්ලේෂී පාදස්පර්ශයෙන් පරම පවිත්‍රත්වයට පත් වූ, අසූමහාශ්‍රාවක උතුම් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේලාගේ වැඩමවීමෙන් හා වැඩහිඳීමෙන් අතිපවිත්‍රත්වයට පත් වූ, මෙම සිරිලංකා ධරණීතලයෙහි තථාගතයන් වහන්සේ බුදු සිරුර සනහා ජලස්නානය කළ, බුදු සිරුර වෙහෙස නිවා දිවා දන් වැළඳු, රහතන් වහන්සේලා පන්සිය නමකට දිවා දානය පූජා කළ හා සන්සුන් පරිසරයක දෙව්මිනිසුන්ට ගාම්භීර ධර්මය දේශනා කළ පුණ්‍යභූමිය වන කැලණිය පුද බිම පිළබඳ එකී අනුපමේය වටිනාකම් නිසා ම ලෝකරු නයිදේ නම් කවියා කැලණි හෑල්ල නම් කාව්‍ය සංග්‍රහයේ දීිඋපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ’යයි සටහන් කොට තබන්නේ කැලණිය පුදබිමෙහි පරම පූජනීයත්ත්වය පිළිබඳ ශ්‍රී ලාංකේය ජන මනසෙහි රැව්දුන් චිරසම්භාවිත ශ්‍රද්ධාප්‍රසාදයේ රාවප්‍රතිරාවය යි.

ලෝකයේ දැනට විද්‍යමාන විශාලතම ධාන්‍යාකාර චෛත්‍ය රාජයාණන් වහන්සේ උස අඩි අනූවක් (90) හා වට අඩි එකසිය අසූවක් (180) වන කැලණිය විහාරයෙහි මහා ස්ථූපය වන අතර තථාගතයන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවෙහි පරිභෝග කළ පාරිශුද්ධ බුද්ධාසනය ත් බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා පරිහරණය කළ ගරුභාණ්ඩ සියල්ල ම ත් නිදන් කොට මෙම චෛත්‍යය ප්‍රථම වරට ගොඩනංවන ලද්දේ මණිඅක්ඛික නාරජුන් විසිනි.

ඔබේ අදහස් එක් කරන්න.

සිංහල
English (UK) සිංහල