කිත්සිරි මෙවන් විහාරය

එගොඩ කැලණිය

කිත්සිරි මෙවන් විහාරය

කැලණි විහාරයට දකුණු පසින් එනම් කැලණි නදියෙන් එගොඩ මෙම විහාරස්ථානය පිහිටා ඇත. එම නිසා අතීතයේ සිටම සැදැහැවතුන් 'එගොඩ කැලණිය' නමින් එම විහාරස්ථානය හඳුන්වයි.

පුරාණයේ මෙම සිද්ධස්ථාන දෙක අතර ගමනාගමනය සිදු වුයේ පාරුවක් මගින් වුවද වර්තමානයේ එගොඩ මෙගොඩ යා කරමින් පාලමක් ඉදි වී ඇත. ක්‍රි.ව. 301-328 අතර කාලය තුළ රජ කළ කිත්සිරිමෙවන් රජතුමා විසින් මෙම විහාරය කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වේ.

කැළණි නදියෙන් එගොඩ ඉතා ශාන්ත සුන්දර පරිසරයක පිහිටි මෙම විහාරය බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කොට කැලණි ගඟේ ජල ස්නානය කළ අවස්ථාවේ ඇඳ සිටි සිවුර (ජල සාටිකාව) තැන්පත් කොට ඉදි කළ 'සිවුරු දාගැබ' පිහිටි බව දහවැනි සියවසට අයත් සෙල් ලිපියක තොරතුරුවලින් හෙළි වී ඇත. සැළලිහිණී සංදේශ කතුවරයාද 'කිත්සිරි මේ වෙහෙරට වදුව පස්වරු' යනුවෙන් සඳහන් කොට ඇත්තේ මෙම රමණීය විහාරය පිළිබඳවයි. පැරකුම්බා රජ දවස කැලණියේ ගතාරා නම් පිරිවෙනක් තිබූ බවත් ශ්‍රී පරාක්‍රම විල්ගම්මුල සංඝරාජ හිමි එහි වැඩ සිටි බවත් ඓතිහාසික තොරතුරුවලින් හෙළි වේ. කිත්සිරිමෙවන් විහාරය විල්ගම්මුළ මාහිමියන්ට පරම්පරා දහයක් මුළුල්ලේ එකදිගට පැවත ආ ශාසන බන්ධු ක්‍රමයට උරුම වී ඇත. ඒ කිත්සිරිමෙවන් රජුගේ රාජ්‍ය සමයේ ය.

මෙම විහාරස්ථානය පුරාණ බුද්ධ මන්දිරය, සිවුරු දාගැබ, බෝධිරාජයාණන් වහන්සේ යන අංගවලින් සමන්විත වේ. තවද සිවුරු දාගැබ අසල සම්බුදු සිරිපා පද්මයේ අනුරුවක් දක්නට ලැබේ. මෙම දාගැබ පෘතුගීසීන් විසින් විනාශ කර ඇතත් ශ්‍රී රාහුල හිමියන් කැලණිය වඳින්නට ගිය අවස්ථාවේදී නිරුපද්‍රිතව තිබී ඇත. සියැසින් දුටු උන්වහන්සේ සැළලිහිණි සංදේශයේ මෙසේ දක්වා ඇත.
'පැහැදුල තුන් සිවුරු ඇඳ පෙරට වැඩ සිටී
තැන කළ සිවුරු දාගැබ වඳු නො පා පීටි '
යනුවෙනි. වත්මන් කැලණි විහාර අධිපතිව වැඩ සිටින මහාචාර්ය අතිපුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් මෑත කාලයේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් කිත්සිරිමෙවන් විහාරයේ රෝපණය කර ඇති අතර එය නවතම රන් වැටකින් අලංකාර කර ඇත.
Kithsiri Mewan Viharaya in his well known Salelihini Sandeshaya.
කිත්සිරිමෙවන් කැලණිය රජ මහා විහාරය (එගොඩ කැලණිය) චෛත්‍ය රාජයාණන් වහන්සේ වඳින ගාථාව

සද්ධාය යාය මණිඅක්ඛික නාග රාජං
චේතිං අකාසිවර අන්තර වාසිකං යං
යස්මිං නිධාය මුනිනෝ තමනුස්ස රන්තෝ
වන්දාමි කිත්තිසිරි සවුහය ථූපරාජං

කැලණිය රජ මහා විහාරය පිළිබඳව තවත් දැනගන්න

බ්ලොග් අඩවිය

පූර්ව ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වා කැලණිය රජ මහා විහාරයේ සවිස්තරාත්මක ඉතිහාසය කියවන්න, නවතම නිල යාවත්කාලීන කිරීම් ලබාගෙන ඔබේ දැනුම අදහස් ලෙස බෙදා ගන්න.

සිංහල