අනුරාධපුර යුගය

දේවානම්පියතිස්ස රජ දවස (ක්‍රි. පූ. 247--207) මිහිඳු මහරහතන් වහන්සේගේ කාරුණිකත්වයෙන් සිරි ලක්දිවට බුදුසමය සම්ප්‍රාප්ත වී (ක්‍රි. පූ. 246) ඊට ආසන්න සමයෙහි දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු උත්තිය කුමරුන් විසින් කල්‍යාණි විහාරය ප්‍රතිසංස්කරණය කොට සංඝාවාසයක් ගොඩනංවා පූජා කරන ලද බව හා කණිට්ඨතිස්ස රජු (ක්‍රි. පූ.227) අලංකාර උපොසථාගාරයක් කරවා පූජා කරන ලද බව ද, වොහාරිකතිස්ස රජු (ක්‍රි. පූ.209) කැලණිය චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කළ බව ද සඳහන් වෙයි.

මෙම යුගයෙන් පසු රජරට පෙදෙසට බල පෑ විදේශීය ආක්‍රමණ හේතුවෙන් ලක්දිව බස්නාහිර බද කොටස මායා රට ලෙසින් වෙන ම පාළන ඒකකයක් ලෙස ස්ථාපනය වූ අතර එහි අගනුවර කැලණිය යි. උත්තිය රජුගේ බෑණනුවන් විසින් කැලණිය විහාරයෙහි අභිනව පිළිම ගෙයක් හා පස් මහල් ප්‍රාසාදයක් ගොඩනංවා සසුනට පූජා කළ බව කිය වෙයි.

උත්තිය රජුගේ මුණුබුරාණන් වූ කැලණිතිස්ස රජු ධාර්මික පාළකයෙක් ලෙස තුණුරුවන් ඇසුරු කරමින් රාජ්‍යවිචාරය කළ බව ත් නිති පතා රජවාසළෙහි දන්පහන් පිදූ බව ත් සඳහන් ය. තෙලකටාහගාථා නම් ඉපැරණි පාලි කාව්‍යයේ අන්තර්ගතයෙන් පැහැදිලි වන පරිදි වැරදි තොරතුරකින් නො මග ගිය කැලණිතිස්ස රජු උණු තෙල් කටාරමක ලා මහරහතන් වහන්සේ නමක් දිවිතොර කරවීමට ප්‍රයත්න දැරීම හේතුවෙන් මතු වූ දේවකෝපය මායා රටට මුහුද ගොඩ ගළා (සුනාමි උවදුරකින් මෙන්) දේපල මෙන් ම ජීවිත ද විනාශ වීම දක්වා මහා අනතුරකට මුහුණ දීමට හේතුවක් වූ අතර මෙම ව්‍යසනයෙන් රට ගලවා ගන්නා ලද්දේ දේවී නම් වූ රජුගේ දූ කුමරිය නැවකට නංවා මුහුදට බිලිදීම වශයෙන් පිටත් කොට හැරීමෙනි.

මෙම සිද්ධිය ලක්දිව දකුණේ රුහුණු රට ත් මායා රට ත් අතර සමීප බැඳීමකට යොමු කළ අතර පසු ව විහාරමහා දේවිය ලෙස ප්‍රකට වූ කැලණියේ දේවි කුමරිය රුහුණෙහි කාවන්තිස්ස රජුගේ අගමෙහෙසිය මෙන් ම අනුරාධපුර යුගයෙහි විදේශීය ආක්‍රමණික සතුරන් පරදා සිරිලක එක්සේසත් කළ ගැමුණු රජුගේ මවු වූවාය.

ඔබේ අදහස් එක් කරන්න.

සිංහල
English (UK) සිංහල