කෝට්ටේ යුගය (ක්‍රි.ව. 1412-1551)

කෝට්ටේ යුගයෙහි දී එම රාජධානියේ මූලස්ථානයට ඉතා සමී වූ අග්‍රත ම සිද්ධස්ථානය ලෙස කැලණිය විහාරය රජයෙන් මෙන් ම ජනතාවගේ ද ඉමහත් ගෞරවයට හා පූජාවන්ට පාත්‍ර වූ බව පෙනෙයි. එසමයෙහි කැලණි වෙහෙර මහා මහල් ප්‍රාසාද, පිරිවෙන් හා අලංකාර මන්දිර වන් ආරාම ගොඩනැගිලි සමූහයකින් සමන්විත ව තේජාන්විත පුණ්‍යභූමියක් ලෙස පැවති බව කෝට්ටේ යුගයේ දී රචිත සිංහල සන්දේශ සාහිත්‍යයෙහි විස්තර වෙයි.

එවක කැලණිය ජනාකීර්ණ මෙන් ම සශ්‍රීක සුන්දර නගරයක් වූ බව ඉහත දැක් වූ සිංහල සන්දේශ කාව්‍යයන්ගේ තොරතුරුවලින් පෙනෙන අතර කැලණි ගඟ වානිජ හා මහජන ප්‍රවාහන මාර්ගයක් ලෙස බහුල භාවිතයෙහි පැවති බව ද පෙනෙයි.

තොටගමුවේ සිරි රාහුල හිමියන්ගේ අග්‍රගණ්‍ය කාව්‍ය නිර්මාණය වන සැළලිහිණි සන්දේශය කැලණියේ ශ්‍රී විභීෂණ දෙවිඳුන් වෙත පූජා කෙරෙන්නේ හය වන සිරි පැරකුම්බා රජුගේ අගමෙහෙසිය වූ ලෝකනාථා කුමරිය හෙවත් උළකුඩය දේවියට ඊළඟට රාජ්‍ය නායකත්ත්වයට සුදුසු පින්වත් පුත් රුවනක් ප්‍රාර්ථනා කරමිනි.

දරු සම්පත් ප්‍රාර්ථනා කොට මෙන් ම දරුවන්ට ආශීර්වාද කොට භාරහාර වීම හා පුදපූජා පැවැත්වීම සඳහා අදද කැලණිය පුදබිම ත් මෙම ශ්‍රී විභීෂණ දේවාලයත් බැතිමතුන් අතර ඉතා ප්‍රකට ය.

ඔබේ අදහස් එක් කරන්න.

සිංහල
English (UK) සිංහල