ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය

ශ්‍රී කල්‍යාණි ධර්මවිද්‍යාලය 1953 වසරේ දී එවක ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරාධිපති අතිගෞරවාර්හ විද්‍යාවේදී තලේවෙල විජිත ධම්මරක්ඛිත නාහිමිපාණන්ගේ මූලිකත්ත්වයෙන් ආරම්භ වූ අතර අද වන විට කැලණිය කලාපයේ ප්‍රධාන ම සහ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන ධර්මවිද්‍යාලය යි. වත්මන් ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මගපෙන්වීමෙන් හා මෙහෙයවීමෙන් ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමියෝ වත්මන් ශ්‍රී කල්‍යාණී ධර්මවිද්‍යාලයාධිපති ලෙස කටයුතු කරති.

Logo of Dhamma School

2020 වසරේ සංඛ්‍යාලේඛනවලට අනුව සිසුදරුවන් 5400 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ආචාර්ය මණ්ඩලයේ සාමාජිකත්ත්වය ප්‍රවීන සහ තරුණ ගුරුවරු 120 ක් පමණින් සමන්විත වෙයි. ඉංග්‍රීසි සිංහල මාධ්‍යද්වයෙන් ම ප්‍රාථමික (01) ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ළමුන් ධර්ම අධ්‍යාපනය ලබන අතර සිංහල මාධ්‍යයෙන් දහම් පාසල් අවසාන විභාගය හා ධර්මාචාර්ය ශ්‍රේණි විභාග සඳහා ළමුන් ඉදිරිපත් වන අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් රජයේ විභාග සියල්ල සඳහා අධ්‍යාපනය ලබා අදාළ විභාග පටිපාටිය සම්පූර්ණ කරයි.

දහම් පාසල් දරුවන් වෙනුවෙන් විෂය සමගාමී සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් රැසක් වසර පුරා ක්‍රියාත්මක වෙයි. ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල සිසු නිපුණතා තරඟවලින් අඛණ්ඩ ව වසර 06ක් කලාපයේ ප්‍රථම ස්ථානය දිනා සිටින ශ්‍රී කල්‍යාණි ධර්මවිද්‍යාලයේ දරුවෝ ඒ සඳහා වාර්ෂික ව ඒ ඒ ශ්‍රේණි මට්ටමෙන් කථික, ගද්‍ය රචනා, පද්‍ය ගායනා, ගාථා ගායනා, දහම් දැනුම හා චිත්‍ර ආදී කුසලතා දියුණුවට තම ගුරුවරුන් යටතේ විශේෂ පුහුණුවක් ලබති.

මීට අමතර ව පෙරදිග තූර්යවාදක කණ්ඩායම, හේවිසි කණ්ඩායම, සෞඛ්‍යදාන ඒකකය, ඡායාරූප සංගමය, අමද්‍යප සංගමය, මාධ්‍ය ඒකකය, කථික හා විවාද සංගමය හා ශිෂ්‍ය නායක සංසදය ආදී වසර පුරා පැවැත්වෙන ක්‍රියාකාරකම් මගින් දැනුම හා කුසලතා සංවර්ධනය සඳහා ත් පෞරුෂය හා නායකත්ත්ව ලක්ෂණ දියුණු වීම සඳහා ත් අවශ්‍ය මෘදු කුසලතා පිළිබඳ පුහුණුව, අත්දැකීම හා පරිචය ලබන්නට සිසු දරුවන්ට අවස්ථාව ලැබෙයි. සෑම ඉරු දින උදෑසනක ම පවත්වන සම්බුද්ධ පූජාව, සෑම පුරපසළොස්වක පෝය දිනකම පැවැත්වෙන සීල භාවනා වැඩ සටහන්, සෞඛ්‍යදාන සේවා සහ සමාජ සත්කාර කටයුතු බෞද්ධ බෝසත් ජීවිතයක ගුණාංග පුහුණුව තුළින් උත්තුංග ආකල්ප හා කුසලතා සංවර්ධනයට අවස්ථාව උදා කරයි.

විහාරාධිපති හිමි
ගෞරවාර්හ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

වාර්ෂික දහම් පාසල් පෙරහැර, දේවදූත පෙරහැර, ඓතිහාසික දුරුතු මහා පෙරහැර, වෙසක් මහා පුණ්‍යොත්සවය, ධර්මදේශනා පින්කම් මාලාව, කඨින මහා පිංකම, හිසතෙල් ගෑමේ චාරිත්‍ර මහෝත්සවය, අවුරුදු උත්සවය හා ගුරු උපහාරොත්සවය ආදිය දහම් පාසල් දරුවන්ට ජාතික බෞද්ධාගමික සිරිත් විරිත්, චාරිත්‍ර ධර්ම, ඓතිහාසික බෞද්ධාගමික හා සංස්කෘතික වටිනාකම් ප්‍රායෝගික ව සහභාගීත්වයෙන් අධ්‍යයනයට මග පෙන්වයි.

 

ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයේ විදුහල්පති හිමි
ගෞරවාර්හ ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි
 
ධර්ම විද්‍යාලයේ ගුරු මණ්ඩලයෙන් කිහිප දෙනෙක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

සිංහල